Monday, January 24, 2011

‘කතන්දර දහසක්’ අතුරුදන් කොට වසරකි.

මම කතන්දර ලියන්නෙක්මි. කතන්දර වලින් මනිතොත්, මට අනුව මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි. හරියටම මෙයට වසරකට පෙර කතන්දර දහසක් හදිසියේම අතුරුදන් කෙරිණි.
එලෙස අතුරුදන්වූ පළමුවැන්නා ඔහු නොවේ. මෑත ඉතිහාසය තුල උතුරේ සහ දකුණේ මෙලෙස අතුරුදන් වූවෝ ලක්ෂ ගණනකි. කතන්දර මිලියන ගණනෙකි. අවසානයාද ඔහු නොවේ.
මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට මා කැමති නැත. ඒ, මා මෙන්ම ඔහු/ඇය ද කතන්දර දහසක්ම වන හෙයිනි.
අතුරුදන් වූවෙකු ගැන අතුරුදන් නොවූවන් කතා නොකරන්නට හේතු බොහෝ තිබිය හැකිය. ප්‍රමුඛ හේතුවක් වනුයේ ඔහු/ඇය ගැන නොදැනීමයි. එය සාමාජීය යයිද සිතමි.
ප්‍රගීත් ගැන දැනගන්නට මා ඔබට ආරාධනය කරමි.
මිනිස් ජීවිතයක් ගොඩනගාගැනීම අසීරු මෙන්ම වෙහෙසකර කටයුත්තකි. එමෙන්ම මිනිසෙකු පිළිබඳව දැනගැනීමද අසීරු මෙන්ම වෙහෙසකර අභ්‍යාසයක් වෙයි. මා මේ පෝස්ටයට එක්කර ඇති pdf ඇමුණුමද එවැන්නක් යයි සිතමි. එය තරමක් දීර්ඝය. කියවීම වෙහෙසකර වීමටද පුළුවන. තම අතුරුදන්වීමෙන් වසරක් සපිරෙනදා බ්ලොගයක දැමීමට ලියූවක් නොවන බැවින් හැඟීම්බරද නැත. එහෙත් එය ‘තමා කවුදැයි සොයා යන’ මිනිසෙකු විසින් ලියූවකි. එබැවින් අප සමාජ අවකාශයට අහිමිවූ කතන්දර දහසම එහි ගැබ්ව ඇතැයි සිතමි.
“අප කවුද?” මැයෙන් යුතු මෙය මීට පෙර කිසියම් මාධ්‍යයක පළව ඇතිදැයි මා නොදන්නා අතර, අතුරුදන්වූ ප්‍රගීත් එක්නැළිගොඩ විසින් එක්තරා සඟරාවක පළකිරීම පිණිස මා මිතුරෙකු වෙත එවන ලද්දකි.
View and Download - අප කවුද? - ප්‍රගීත් එක්නැළිගොඩ (pdf)

Sunday, January 16, 2011

(ගැහැණු) ආදරයේ අංශු මාත්‍රයක්...

2002 ජූනි මස 23 වෙනිදා සවස 3.30 ත් 5.00 ත් අතර කාලය තුල තම නිවසේදී විවාහ කරගන්නා බවට පොරොන්දු දී දූෂණය කිරීම.......

අවසානයේදී ප්‍රියංගි නිශ්ශංකට එරෙහිව එක්තරා දිසා අධිකරණයක නඩු පවරලා තිබුනා. ඒ වෙනකොටත් මගේ මිතුරෙකු වන නිශ්ශංකට වගේම මටත් මහත් හිසරදයක් වෙලා තිබුණ ඒ අවුල් ජාලය එක්වරම වෙනස්ම මුහුණුවරකට පත්වුනේ එහෙම. අපිට මේක ඇතිවෙලා තිබුනේ. ඒ වෙනකොටත් නිශ්ශංකගේ මව හා පියාගේ නමට සතියකට ලියුම් 5 ගණනේ ලැබෙමින් තිබුනා. මුලදී කවරය තුල බහා තිබූ දුක්ගැනවිලි ක්‍රමයෙන් කවරයේ මතුපිටත් ලියවෙමින් තිබුනා. ඔහුට එරෙහි පෙත්සම් සේවා ස්ථානයට වගේම ඊට ඉහල ස්ථානයන්ටත් යමින් තිබුනා. පාරෙදි හමුවන නන්නාඳුනන පිරිමින් ඔහුට තර්ජනය කොට පහර දීමට තැත් කිරීම සුලභ දෙයක් බවට පත් උනා. ඔහුගේ විවිධ මිතුරන් මගින් ඔහුට ලැබෙන්නට සලස්වා තිබූ තල තෙල් රසැති ටොෆී, චොකලට් ඇතුළු විවිධ රසකැවිලි සෑහෙන ප්‍රමාණයක් ඔහු දැන දැනම ගිලදමා තිබුණා.

ඒකිට පිස්සු හැදිලා...... මගේ යාලුවෝ කියලා ඉන්න සමහර උං මේවා මට කවන්නං කියලා ඒකිගෙන් ගොඩක් වැඩ ගන්නවා.... රටේම ඉන්න කට්ටඩියෝ එක පැත්තකිං..... ඒ මදිවට තුට්ටු දෙකේ ගණං කාරයෝ....... ඇත්තටම පව් බං...!

ඉතිං උඔ ඕවා දැන දැනම කන්නේ?

හහ්.... මට මොනවා වෙන්ඩද? ඕවා පට්ටපල් බොරුනේ බං..... ඒකෙන්වත් ඕකි මේක අතාරියි කියලා කාල දැම්මා...

නිශ්ශංකත් ප්‍රියංගිත් වැඩකලේ එකම සේවා ස්ථානයේ. එකම තනතුරක. ඔවුන් සේවයට බැඳුනෙත් එකටම වගේ. ඒත් ඔවුන් දෙදෙනා එකිනෙකාව හොඳින් දැන හඳුනා ගත්තේ ඊටත් වසර එකහමාරකට විතර පස්සෙ විය යුතුයි. ඒ ඔවුන් දෙදෙනාම බාහිර උපාධි පාඨමාලාවක් කරන්න ගිහින්. ඒක ආදරයක් බවට පෙරළෙන්න තවත් මාස හය හතක් විතර යන්න ඇති. හැබැයි නිශ්ශංක ඒ දේවල් මට කියලා නෑ. (සාමාන්‍යයෙන් හුඟක් යාළුවො එහෙම තමා. එක පාරටම දුවගෙන ඇවිත් කියනවා කෙළවුනානෙ බං කියලා.)

මං කොහොමද බං මේ වගේ චෝදනාවකට රෙදි ඇඳං උසාවි යන්නේ....? අනික ගමේ උං මේවා දැනගත්තාම....? අම්මා....?

කෝකටත් කියලා අපි දෙන්නම ගිහින් සෑහෙන මෝරෙක් විතර ලෝයර් කෙනෙක් ඇල්ලුවා. බයටම. සාමාන්‍යයෙන් මේ වගේ කේස් වලදී අධිකරණය කාන්තා පාර්ශ්වයට වැඩිපුර ඇහුම්කන් දෙන බව තමයි අපේ තක්සේරුව උනේ. නඩු දිනේදි නිශ්ශංක වගේම මමත් ගැහි ගැහී උසාවි යනකොට ප්‍රියංගි සුදු සාරියක් කාරිය ඇඳගෙන ඇවිත් උන්නා. බයක් හෝ ලැජ්ජාවක් වෙනුවට බොරු කේන්ති මූණක් එක්ක.

මං උඔට සමහර දේවල් නොකියා ඉඳලා ඇති. ඒත් කවදාවත් බොරුවක් කියලා නෑ.... ඔය කියන දවසෙවත්, වෙන මොන දවසකවත්, මගෙන් එයාට එහෙම දෙයක් වෙලා නෑ.......

..............?

මේ කතාව කවුරුවත් පිළිගන්නේ නෑ තමා. ඒත් වැදූ අම්මාපල්ලා...... මං කියන්නෙ ඇත්ත......... එහෙම දෙයක් උනානං ඒකිව අතෑරලා දාන්න තරං මං බල්ලෙක් නෙමේ.....

නිශ්ශංක මේ කියන්නෙ ඇත්තක් බව ඌව හොඳින්ම දන්න මට විශ්වාසයි. ඒත් ප්‍රශ්ණේ වෙන එකෙකුටවත් මේවා කිව්වට වැඩක් වෙන්නෙ නැති එක. අනික මට තිබුණු ලොකුම පුශ්ණේ තමා දැන උගත්, පිළිගැනීමක් සහිත රැකියාවකුත් කරන ප්‍රියංගි වගේ කෙනෙක්, තමන්ගෙ ආත්ම ගෞරවයට සහ අනාගතයට පයින් ගහලා මේ වගේ බොරුවක් කරයිද කියන එක. කොහොම උනත් එවේලේ මේකෙ ඇත්ත බොරු හොයන එක මගෙත් අංක දෙකට වැටිලා තිබුනේ. අංක එක වැරැද්ද කලා හෝ නොකලා, යාළුවා බේරා ගැනීම. ඉතිරි ඒවා පස්සෙ.

නිශ්ශංකගෙත්, ප්‍රියංගිගෙත් සම්බන්ධය මුලින්ම ඉව වැටුනේ ස්ටාෆ් එකට. පළවෙනි නරක ආරංචිය නිශ්ශංකට දුන්නේ ප්‍රියංගිගේ ගම්පළාතේ පදිංචි නිශ්ශංකගේ යාළුවෙක්.

ඕකි ගමේ හෙන චාටර් බං..... ජොබ් එකට එන්ඩ හුඟක් කල් ඉඳං කාඩ් කුඩු කරං ඉන්නෙ.... මගේ යාළුවෙකුත් ඕකිව ඉස්සුවා. තව කොච්චරක්ද දන්නෙ නෑ... ඒ පැත්තෙ ඕන එකෙක්ගෙන් අහපංකෝ.....

නිශ්ශංක මට ඒ දවස්වලම ඔය ගැන කිව්වා. ඔය සම්බන්ධය ගැන මගේ විරෝධයට හොඳ උත්තරේකුත් දුන්නා.

ඕවා ඔහොම තමා බං.... මගෙත් එෆෙයාර් දෙක තුනක් තිබ්බේ....? මං එයාට ආදරේ කලේ ඕකට නෙමේනෙ... අනික එයා මට ආදරේ නං, ආයෙ එහෙම වැරදි කරන්නෙත් නැත්තං.... ප්‍රශ්නයක් නෑනේ බං.... කන්‍යාභාවේ.... රෙද්ද....

නමුත් මට තේරුණු විදිහට ඒ දිනවල නිශ්ශංක ප්‍රියංගි ගැන තරමක සෙවිල්ලෙන් හිටියා. ඒ හැම සෙවිල්ලකින්ම ප්‍රියංගි ඉහළින් සමත් උනා. ඒ දෙවන නරක ආරංචිය එනකං.

ප්‍රියංගිගේ දුර නෑදෑ කමකට මාමා වෙන එකෙක් ඔය ගෙදර ඇවිත් සතියට දවස් දෙක තුනක් ඉඳලා යනවා.... ඕක ගැන ටිකක් බලපං.......

අන්තිමේදි නිශ්ශංක අත පත්වූ සාධාරණ සාක්ෂි මත, ඒ පරීක්ෂණයෙන් ප්‍රියංගි අසමත් උනා. මහා කඳුළු වගුරක් මැද දිගහැරුණු, ඇගේ වයස අවුරුදු 14 ක 15 ක නොතේරුම් වයසකින් පටන් ගත් මහා පාපොච්චාරණයක මතක තිබුණු කොටස් නිශ්ශංක බමණ මතින් මාත් එක්ක කිව්වා. ඒත් ඔහු ඇයට සමාව දී තිබුණා. කොන්දේසි දෙකක් මත. නැවත ඒ ඥාතියා නිවසට නොකැඳවීම සහ ඔහුත් සමඟ සියළු සම්බන්ධකම් නැවැත්වීම.

මං ඉස්සර එයාව පන්ති එක්ක යන්න යද්දි මේකි අම්මට තාත්තට එක්ක ඔය යකාටත් වඳිනවනේ බං.... මාවත් වන්දලා තියෙනවා... ඕවා මතක් වෙද්දි නං....

ඇගේත් එක් අහිංසක ඉල්ලීමක් තිබුණා.

මාව මේ අපායෙන් ගලවගෙන ඉක්මණට ඔයා ළඟට ගන්න......

ඊළඟ සතියේ නිශ්ශංක වැඩට ගිහින් උන්නු වෙලාවක ඔය කියන ඥ‍ාතියාගේ හැඩහුරුකම් කිවූ අයෙක්, නිශ්ශංකගේ මාපියන් හමුවෙලා ගිහින් තිබුණා.

නිශ්ශංක මට ගොඩක් උදව් කරපු හොඳ කෙනෙක්.... මම කැමති නෑ එයා අමාරුවේ වැටෙනවට.... ඔය කෙල්ල මං හොඳට දන්නවා. ගමේම උං එක්ක පඳුරු ගානේ අවලමේ ගිහින්... දැං ...... මං මෙච්චර කල් බලං හිටියේ ඔයාල තමන්ගේ දරුවා ගැන මීට වඩා හොයයි කියලා.........

එදා නිශ්ශංක වැඩ ඇරිලා එද්දි ඔහුගේ මාපියන් ප්‍රියංගිගේ ගෙදරට ගිහින්. එහේ ගම හොල්ලපු ලොකු ගෝරියකුත් වෙලා. ප්‍රියංගිගේ ගෙදරින් නිශ්ශංකවත් බැනලා එලෝගත්තා.

ගිහින් බැඳගනිං අම්මටයි අප්පටයි හොඳ එකෙක්..... අපේ එකී අපිට බර නෑ..............

ඊළඟට ගෙවුණු අවුල් සහගත සති කීපය මටවත් හරියකට මතක නෑ. දෙමාපිය ආශීර්වාදයෙන් තොරව කසාද බඳින්න ප්‍රියංගි බෑ කිව්වා. අර ඥාතියා නැවතත් ප්‍රියංගිගේ පවුලට සමීප උනා.

එහෙම මොකුත් නෑ නිශ්ශංක... ඒ යකාට විතරයි තාත්තගේ හිත හදන්න පුළුවන්.... මම හොඳටම බැන්නා.... ඌ පොරොන්දු උනා මේක ඉක්මණට විසඳලා අපි දෙන්නව එකතු කරනවා කියලා.......

නිශ්ශංක ප්‍රියංගිට එන්න අවසන් දිනයකුත් දුන්නා. මම දන්න තරමට ඒ දිනේ පහුවෙනකලුත් ප්‍රියංගි නොනවත්වාම ඇඬුවා. අවසානයේදී නිශ්ශංක අවසන් නිවේදනයත් ඇරියා.

එල්ලිලා මළත් මට කමක් නෑ බං.... මං කොච්චර දේවල් ඉවසුවද......? උඹ දන්නවනේ....?

උගේ වචන වෙනස් කරන්නේ නැති බව නං මං හොඳටම දන්නවා.

ඊළඟ මාස කීපය තුළ ප්‍රියංගි පිස්සුවෙන් වගේ නිශ්ශංක හොයාගෙන ආවා. කන්නලව් කලා. ඇති තරම් ඇඬුවා. කැත්තක් අරං කිලෝමීටර් බාගයක් විතර අර ඥාතියාව එළවගෙන ගිහින් තිබුණා. වශී ගුරුකම් කරන්න ගත්තා. නිශ්ශංකට තර්ජනය කලා. පොලිස් පැමිණිලි දැම්මා. අන්තිමට ඔය නඩුව දැම්මා.

නඩුව අතරතුරේදි එකම දවසක් මිනිත්තු දෙක තුනකට ප්‍රියංගිව මට තනියම හමුවන්න පුළුවන් උනා.

ඔයා දන්නෑ අයියේ..... මට ආදරේ කරපු කෙනෙකුට හම්බ උනේ නිශ්ශංක විතරයි..... එයා මාව අත ඇරපු එක සාධාරණ ඇති.... ඒත් මට එයාව අතාරින්න බෑ..... හරි හමං එක සාක්ෂියක් වත් නැතුව දාපු මේ නඩුව මං පරදී.... ඒත් දැං එයත් එක්ක මට නඩුවක් වත් තියෙනවා.....

ගෑණු ආදරේ කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්.

Tuesday, January 4, 2011

කළවා ත්‍රස්තවාදය - න්‍යායික හැඳින්වීමක්...

මෙම ලිපිය ලිවීමට මූලිකම හේතුව වනුයේ මා විසින් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව කරන ලද වැදගත් සොයාගැනීමකි. එනම් අප රජයේ උගත් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩවියේ පළවන අගනා අදහස් සීරුවෙන් අධ්‍යයනය කරන බවයි. මෙය සාක්ෂි සහිතව සනාථ කල හැකි කදිම නිදර්ශනයක් පසුගිය දිනවල ඔබ දකින්නට ඇත. ටී.බී. ගේ කොට ගවුම් කචල් එක යනුවෙන් ජන වහරේ හැඳින්වෙන මෙය, සත්‍ය වශයෙන්ම මා විසින් කලකට ඉහතදී යෝජනා කරන ලද ශෘංගාර කලාප පාලක හෙවත් ශෘ.ක.පා. කොමිසමයි. (මෙතෙක් කියවා නැතිනම් කියවා ආවත් කමක් නැත). එහි නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සම්මාන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද කටයුතු කිරීම මා හට සැබවින්ම ආශ්වාදයකි.

ශෘ.ක.පා. කොමිසමේ නිර්මාතෘවරයා වශයෙන් මේ අවස්ථාවේදී මෙම කොමිසමේ කාර්ය භාරය සහ අනාගත අභියෝග පිළිබඳව යම් අදහසක් පළ කිරීම මගේ ජාතික වගකීමක් බව ඔබද පිළිගන්නවා ඇත. ඇත්තෙන්ම මෙම කොමිසමේ කාර්ය භාරය වනුයේ අප රට තුළින් මෙතෙක් සොයාගත් දරුණුම ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය හෙවත් පිරිමි අපි සූදානම් කිරීමයි. අප විසින් පරාජය කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙන් සිය දහස් ගුණයක් බරපතළ මෙම ත්‍රස්තවාදය කළවා ත්‍රස්තවාදය ලෙස මා නම් කරමි. මෙහි මූලික ලක්ෂණ පහත පරිදි වේ.

· අප දන්නා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙහෙයවනු ලැබුයේ උතුරු හා නැගෙනහිර දෙමළ ජාතික සුළුතරයක් විසිනි. එහෙත් මෙම ත්‍රස්තවාදය ගෙනයන්නේ පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව වන ආතල් එක පිණිස (සහ අප වර්ගයා බෝ කර ගැනීම පිණිසද) අප විසින් කවා පොවා ඇති දැඩි කරනු ලබන කාන්තාවන් නම් බහුතර සත්ව විශේෂයයි.

· එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සාහ දරනු ලැබූයේ අප මාතෘභූමියෙන් කොටසක් අල්ලා ගැනීමටයි. එහෙත් මෙම කළවා ත්‍රස්තවාදය සෘජුවම මැදිහත් වන්නේ විදේශීය ආක්‍රමණිකයන්ට පවා විනාශ කල නොහැකි වූ පිරිමි අපගේ උතුම් සංස්කෘතිය සහමුළින්ම විනාශ කිරීමටයි.

· එල්.ටී.ටී.ඊ. කාරයින් තම යුද්ධය සඳහා විවිධ සැහැල්ලු සහ බර ආයුධ මෙන්ම ගුවන් යානාද භාවිතා කරන ලදී. මේවා කොතෙක් භයානක වුවද ප්‍රති ප්‍රහාර දී විනාශ කල හැකි යාන්ත්‍රික මෙවලම්ය. එහෙත් මෙම කාන්තා ත්‍රස්තවාදීන් ආයුධ වශයෙන් භාවිත කරන්නෙ කලවා, බුරිය,කිහිළි වැනි ශාරීරික අංගෝපාංගයන්ය. කොටින්ට මෙන් නොව, මේවාට ප්‍රතිප්‍රහාර දුනහොත් අපට පව් සිද්ධ වන බැවින් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නැත.

· කොටි ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මරණය හෝ විවිධ තුවාල අපට සිදුවුවද ඒවා ශාරීරිකය. එහෙත් මෙම ප්‍රහාරයන් කෙළින්ම මොළයට හානි කරයි. උදාහරණයක් ලෙස කලවා වලින් කරන පහර දීමකදී පිරිමියෙකුගේ මොළයට වන හානිය, තොලකට වෙව්ලීම, දිව වියලී තිබියදී කටේ පැත්තකින් කෙල බේරීම වැනි විකාර රෝග ලක්ෂණයන්ගෙන් මනාව විශද වේ.

· මෙම ත්‍රස්තවාදයේ අවසන් අරමුණ ලාංකීය ජාතිය වන පිරිමි අපි ඇවිදින මළකඳන් බවට පත් කොට කාන්තාවන් විසින් අප මතෘභුමියේ බලය අල්ලා ගැනීමයි. පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව ආතල් එක බව ඔබ දනී. මෙය දන්නා කපටි කාන්තා ත්‍රස්තවාදීන් කරන්නේ, අපගේ ආතල් පිණිස අප විසින් චිරාත් කාලයක් තිස්සේ වසා දමා තිබූ ඔවුන්ගේ රහසිගත ප්‍රහාරක කලාපයන් ප්‍රසිද්ධියේ විවෘත කිරීමයි. ලෙහා දැමූ මල්ලක ඇති කුතුහලයක් හෝ දෙවේලේ දකින කරමලයක ඇති වර්ණයක් හෝ නොමැති බව න්‍යායික සත්‍යයකි. එහෙයින් ඔවුන් මේ විනාශ කරන්නේ අප මෙතෙක් ඔවුන්ගෙන් විඳි ප්‍රමෝදයයි. එය නැති තැන අප සංකේතීයව මියගොස් බටහිර පර සුද්දන් මෙන් නිවට නියාළු ජාතියක් බවට පත්වීම අනිවාර්යයකි.

මා කළින් සඳහන් කල පරිදි මෙය මිහිපිට පහළ වූ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය බව දැන් ඔබ පිළිගන්නවා ඇත. මෙම ව්‍යසනයෙන් ගැලවිමට අප කල යුත්තේ කුමක්ද? මෙය අප මාතෘභූමියේ අයිතිය වෙනුවෙන් පිරිමි අප සැම එක්සිත්ව නැගී සිටිය යුතු මොහොතකි. නියපොත්තෙන් කැඩිය යුතු දෙය පොරොවෙන් කැපිය යුතු නොවේ. පහත යෝජනා ඒ වෙනුවෙනි.

· මුළින්ම කල යුත්තේ සම්මත ශෘංගාර කලාප පනත උල්ලංඝනය කරන කාන්තාවන් අල්ලා නීති මගින් කටයුතු කිරීමයි. නීතිය සහ සාමය රැකීම සදහා සිටින්නේද අති බහුතරයක් පිරිමින් බැවින් මෙය අපට වාසිදායකය.

· මෙයට අමතරව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන එවන් ත්‍රස්තවාදීන් ඉලක්ක කොට දිගු දුර විහිදුම් දැලිපිහි සහ බ්ලේඩ් බලකායක් ස්ථාපිත කල හැකිය.

· මෙම කාන්තා ත්‍රස්තවාදීන්ගේ මොරාල් එකට හානි කිරීම සඳහා ශාස්ත්‍රාලීය ආයතන පරිශ්‍රයන් තුල පෝස්ටර් ව්‍යාපාරයන් ඇරඹිය හැකිය.

· ‍මෙම ත්‍රස්තවාදය සඳහා විදේශීය සහයෝගය ලැබීම අවම කිරීම සඳහා ජාත්‍යන්තරය දැනුවත් කිරීමට, වැඩි වැඩියෙන් දේශප්‍රේමී ෆේස්බුක් ගිණුම් සහ වෙබ් අඩවි ඇරඹීම උචිත යයි සිතමි.

· මෙම කාන්තා ත්‍රස්තවාදීන් අතර සිටින අපගේ චින්තනය සහිත හෝ අපටත් වඩා දේශප්‍රේමී කාන්තා ශරීර ඇතියන් භාවිතා කොට ශක්තිමත් බුද්ධි අංශයක්ද නිර්මාණය කල හැකිය.

· එමෙන්ම පිරිමි අප අතරම හිඳ මෙම ව්‍යාපාරයන්ට සහාය දෙන විකිලීක්ස් කාරයින්ට සම්බුව දීම සඳහා දිවයින වැනි පුවත්පත් ඇතුළු සියළු දේශප්‍රේමී මාධ්‍ය සීරුවෙන් තැබිය යුතුය.

· අපගේ අභිමතාර්ථ ප්‍රකාරව තම ශරීරය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අඩු වයස් කාන්තා ජීවීන්ගේ මොළ ශෝධනය සඳහා අපගේ ප්‍රමිතීන් උපක්‍රමශීලීව පාසල් විෂය මාලාවට ඇතුලත් කල යුතුය.

· අවසන් වශයෙන් මෙම මානුෂික මෙහෙයුම වඩාත් පහසුවෙන් සිදුකල හැක්කේ අප විසින් කාන්තාවන් ඇති දැඩි කරනු ලබන අපගේ නිවෙස් තුළදීය. සම්මත සංස්කෘතික නීතීන් අභිබවා යන කාන්තාවන් සඳහා අවම බලය භාවිතා කිරීමට දැනටමත් අපට අවසර ලබාදී ඇත. එමෙන්ම අඩු වයස් කාන්තා ජීවීන් පෝෂණය කරනු ලබන පියවරුන් නම් වන පිරිමින් හට විශේෂීත වගකීම් පැවරේ. කෙදිනක හෝ වෙනත් පිරිමියෙකු වෙත පාවා දීමට නියමිත එම අඩුවයස් ජීවියා, එකී පාවා ගන්නා පිරිමියා හට උපරිම ප්‍රයෝජන ගත හැකි වන පරිදි සම්පූර්ණයෙන්ම ආවරණය කොට ඇති දැඩි කිරීම ඔවුන්ගේ වගකීමකි.

සැබවින්ම මෙම අභියෝගය හමුවේ අප වඩාත් තීක්ෂණ විය යුතුය. බලය බෙදා හැරීම වෙනුවට බලය මුදා හැරීම මගින් සියළු කාන්තාවන්ගේ දෑතේ මැණික් කටුවේ සිට දෙපයේ මැණික් කටුව දක්වා සියල්ල වසා දැමීම අප ඒකායන අරමුණ විය යුතුය. මෙහි අතිරේක මහඟු වාසියක් ලෙස, කාන්තා ශරීරයේ දෑතේ මැණික් කටුවේ සිට වැළමිට දක්වාද, අත් ගොබ ද, දෙපයේ බත් කෙණ්ඩා මෙන්ම දණීස් පොල්කටු ද නව ශෘංගාර ජනක කලාපයන් ලෙස සංවර්ධනය කොට අප නූපන් පරපුර වෙත දායාද කිරීමට අපට හැකිවනු ඇත. එන්න අප හා එක්වන්න. මේ ඔබේ ජාතිය (නැවත වරක්) වීරයන් සොයන කාලයයි.

Sunday, January 2, 2011

නියඟලා.........

මේ ලබාපු 'සුබ අළුත්' අවුරුද්දෙ
මට උඹත් එක්ක මාර තරහක් තියෙන්නෙ බං.......


මොන මගුලකටද ඕක ෆේස්බුක් එකේ දැම්මේ....?
මොන මගුලකටද ඔය වගේ පොටෝ එකක් ගත්තෙ....?
මොන මගුලකටද ඒකට ඔය මල් අතට ගත්තෙ....?
මොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....?

තවත් තරුණයෙකු යාපනයේදී වෙඩිතබා මරාදමයි - Sri Lanka Guardian